Must Read

Wednesday, May 11, 2016

දෙමාපියන් විසින් දරුවන්ට නොකළ යුතු දේවල් පහක්.

මම අද ලියන්න යන්නේ මන් හිතන විදියට දෙමාපියන්ට වැදගත් ලිපියක්.. දෙමාපියන් නිවැරදි කියලා හිතුවත් ඔවුන් කරන වැරදි කිහිපයක් ගැන අද කියන්න යන්නේ. ඇත්තටම මට හමුවන දෙමාපියන් බොහොමයක් සිදුකරන  මගේ අත්දැකීමෙන් මා දුටු වැරදි දේවල් කිහිපයක් තමයි මෙහි සදහන් කරන්නේ.

1.දරුවා ඉදිරියේ ගුරුවරයාට දරුවාගේ වැරදි පැවසීම.


ඇත්තටම ගොඩක් දෙමාපියෝ දරුවෝ ඉදිරියේම ඔවුන්ගේ වැරදි අඩුපාඩු ගුරුවරයා හමුවේ පවසා සිටිනවා. මේ වගේ වෙලාවට අපේ පුංචි දරුවෝ ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. එයාලා කැමති නෑ එයාලගේ වැරදි තව කෙනෙක් ඉස්සරහා කියනවාට. පුංචි මනසට ඒක මදිකමක්.. එකෙන් දරුවාගේ මානසික මට්ටම පහත වැටෙනවා. ඒක ගොඩක් දෙමාපියන්ට තේරෙන්නේ නෑ. බොහෝ අය හිතන්නේ ගුරුවරයාට දරුවා ගෙදරදී කරන වැරදි ආදිය රස කර ගුරුවරයාට පැවසීම ලොකු කමක් කියලා. ඇත්තටම දරුවා නැති තැනකදී ගුරුවරයාව දැනුවත් කරනවානම් කුඩා දරුවාගේ මානසිකත්වයට ගොඩක් හොඳයි.

2.දරුවාට ඔහුගේ යාළුවන් ඉදිරියේ බැන වැදීම හා දොස් පැවරීම.


තම සම වයසේ මිතුරන් ඉදිරියේ බැන වැදීමෙන් දරුවා බොහෝ අපහසුතාවයට පත් වෙනවා. එකෙන් වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ පෞර්ෂත්වය ඔබටත් නොදැනීම හින වෙන එක. ඒ වගේම දරුවාට දෙමාපියන් පිලිබඳ ඇති හැඟීම මේ නිසා වියකි යනවා. ඔවුන් එතකොට දෙමාපියන්ව දකින්නේ තමන්ට අපහාස කරන්න බලන් ඉන්න පිරිසක් විදියට. එකෙන් දරුවා හා දෙමාපියන් අතර ඇති සම්බ්න්ධතාවයටත් හානියක් සිදු වෙනවා. අන්තිමේදී දෙමාපියන් දන්නෙම නැතිව දරුවා ඔබෙන් ඈත් වෙලා. එතකොට දෙමාපියෝ හිතනවා දරුවා මුරන්ඩුයි කියලා. නෑ... දරුවාව කුඩා කළ සිටම ඔබෙන් ඈත් කරගෙන තියෙන්නේ ඔබමයි.

3.දරුවාව ඔහුගේ සහෝදර සහෝදරියන් සමඟ සන්සන්ධනය කිරීම.


 අතේ ඇඟිලි පහ එක වගේ නෑ. ඒ වගේ තමයි එකම පවුලේ වුනත් එක එක දරුවන්ගේ හැකියා වෙනස්. අක්කා ගණිතයට දක්ෂයි කියලා මල්ලි දක්ෂ වෙන්නේ නෑ. ඒ වගේම අයියා කැම්පස් කියලා නංගි අනිවාර්යනෙම කැම්පස් යන්නේ නෑ. එහෙමයි කියලා ඔවුන් අදක්ෂයෝ නෙමේ. මොනවා හරි දෙයකට හැම දරුවම දක්ෂයි. ඒ දක්ෂ පැත්ත සොයාගෙන ඒ තුලින් දරුවාව ඉදිරියට යවන එක දෙමාපියන්ගේ වගකීම. එහෙම නැතුව "අක්කනම් හරිම දක්ෂයි මේ ළමයට මොනවා වෙලාද මන්දා" වැනි අවලාද දරුවට පැවසීමෙන් ඔබ කරන්නේ දරුවට හතුරුකමක්.එහෙම කරලා ඔබේ දරුවාගේ මානසිකත්වය නැති කරලා දන්නේ ඔබමයි. ඒ වගේම මේකෙන් වෙන භයානකම අතුරු ප්‍රතිපලේ තමයි දරුවා තම සහෝරයා හෝ සහෝදරිය සමඟ හිත අමනාප කම් ඇති කරගන්න එක.

4. දරුවා අගය නොකිරීම හා දිරිමත් නොකිරීම.

මේක කිව්වම ඔයාලට හිතෙයි අපි අපේ දරුවන්ව දිරිමත් කරනවා කියලා. නමුත් ගොඩක් දෙමාපියෝ දිරිමත් කිරීම කරන්නේ දිරිමත් කිරීමකට වඩා දරුවාගේ පැත්තෙන් ඔහුට හෝ ඇයට කරන අපහාසයක් විදියට. ඇත්තටම ඔබ මේ දේවල් කරන්නේ එහෙම හිතලාත් නෙමේ. දරුවාට තියෙන ආදරයට. නමුත් එකෙන් දරුවාට වන මානසික බලපෑම කියන්න බැරි තරම් විශාලයි. සමහර අම්මාලට දරුවෝ තමන්ගේ අනාගත බලාපොරොත්තුව වත් කියන්න කැමති නෑ. ඒ මොකද එහෙම කිව්වම දෙමාපියෝ කියනවලු..."ඔහොම ඉදලනම් ඔයාට දොස්තර කෙනෙක් වෙන්න බෑ.. ඉංජිනේරුවෙක් වෙන්න බෑ..." කියලා. ඒ විදියේ දෙයකින් දෙමාපියෝ බලාපොරොත්තු වෙන්නේ දරුවා බෑ කියන නිසා පාඩම් කරලා පෙන්නයි කියලා. නමුත් ඇත්තටම වෙන්නේ දරුවා තමන්ගේ බලාපොරොත්තුව සඟවා ගන්න එක. ඒ වගේම  දරුවා ට මුල ඉඳලම බැරි මානසිකත්වය ඇති කරගන්න එක. හැම වෙලේම ඔවුන්ව දිරිමත් කරන්න. "ඔයාට පුළුවන් පුතා දුව..." කියලා කියන්න. පුංචි හිත් වලට බෑ කියන වචනේ කියලා රිද්දන්න එපා.


5.දරුවා සමවයසේ මිතුරන් සමඟ සන්සන්ධනය කිරීම.

"එයාට පුළුවන් නම් ඔයාට බැරි මොකද...???" අපේ දෙමාපියන් බොහොමයකගේ කටේම ඇති වචනයක්. අනේ දෙයියනේ මෙහෙම හිතන්න ඔබට පුලුවන්ද බලන්න එහා ගෙදර කෙනා කරන හැම දෙයක්ම කරන්න. ඔබේ හොඳම මිතුරියට රසට කේක් හදන්න පුළුවන් වුණා කියලා ඔබට පුලුවන්ද.. හිතන්න අනිත් ඇයට පුළුවන් හැම දේම ඔබට පුලුවන්ද.. වැඩිහිටියන්ටත් එහෙම බැරි නම් කොහොමද කියලා හිතලා බලන්න ඔබේ පුංචි දරුවා ඒ හැමදේම කරන්නේ.. ඔබේ දරුවට ඒ දේ බැරි වුනාට ඔහු තව දෙයකට දක්ෂ වෙන්න පුළුවන්. "ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත.." කියලා අපේ පඬිවරු කිව්වේ.. හැමදේකටම හැමෝම දක්ෂ නම් ඔවුන් කියනවානේ... "ලොවේ සැවොම හැම දේටම වෙයි දක්ෂ" කියලා නේද... ඇයි මේ පුංචි දේ තේරුම් ගන්නේ නැතුව පුංචි මනස තලන්නේ. එකෙන් වෙන්නේ ඔබේ දරුවාගේ ලස්සන අනාගතය ඔබම තලලා විනාශ කරලා දාන එක. සමහර අම්මලා තමන්ගේ දරුවට බනින්නේ මෝඩයා කියලා. දරුවෙක් කුඩා කාලේදී වැඩි පුරම විශ්වාස කරන්නේ තමන්ගේ අම්මා තාත්තව.. ඉතින් ඒ දෙන්නම දරුවට මෝඩයා කියලා නිතර කියද්දී දරුවාගේ මානසිකත්වයට මොකද වෙන්නේ.... දරුවා හිතනවා තමන් මෝඩයෙක් කියලා. අන්තිමේදී ඔබ කරන්නේ දරුවට නොදැනම ලොකු වැරද්දක්. කිසිම දරුවෙක් මෝඩ නෑ. හැම කෙනෙක්ටම විවිධ මට්ටමේ බුද්ධි ප්‍රමාන තියනවා. නටන්න දක්ෂ කෙනා ගණිතයට දුර්වලයි කියලා ඔහු මෝඩයෙක් නෙමේ. මොකද ඒ ගණිතයට දක්ෂ කෙනාට තාලයකට අත් පුඩියක් වත් සමහරවිට ගහගන්න බැරි වෙන්න පුළුවන්..


මේ කරුණු කිහිපයට අමතරව තව බොහෝ වැරදි දෙමාපියන් අතින් සිදුවෙනවා. එවැනි වැරදි කිහිපයක් නැවතත් මෙසේ සටහන් කරන්නත් බලාපොරොත්තු වෙනවා.මේ  ලිපියෙන් වැදගත් යමක් අරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඔබේ වැරදි නිවැරදි කරගන්න උත්සහා කරන්න. ඔබේ දරුවාගේ ලස්සන අනාගතේ ඔබම තළලා දාන්න එපා... ඊලග ලිපියෙන් නැවත හමුවෙමු.

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved