Must Read

Monday, March 28, 2016

අවසන් ගමන...




නිසළ මගේ වත දුටුව විට අද හිතට සතුටුය මගේ පුතේ
සසරේ දුක දුටු මගේ හදවත නැවතුනේ අද නොවෙ පුතේ
කිලිටි වස්ත්‍රය හැදන් සිටි මට සේද සළු පිළි මොට පුතේ
ලෑලි ඇද උඩ නිදා ගත් මට කුශන් පෙට්ටිය ඇයි පුතේ

කහට උගුරෙන් පුරෝගත් කුස පුළුන් කොට්ටෙන් පුරෝලා
පඩිපෙළෙන් වැටි කැඩී ඇදවුන කකුළ ඇදයත් හදාලා
පීරගන්නට බැරිව වදදුන් හිසකේ ටික අද පීරලා
මගේ වැහැරුණ මහලු රුව අද වෙනදා නැති ලෙස හැඩ වෙලා

මගේ පා යුග බදා ගනිමින් හඩන්නේ ඇයි මයේ දුවේ
බලාගත් අත හරිම දුකකින් බලා ඉන්නේ ඇයි පුතේ
මා බලන්නට එන වුන්ව දැක හඩන්නේ ඇයි ලේලියේ
මහා වියදම් කොට මෙසේ ඇයි මගුල් ගන්නේ පොඩි පුතේ

ලොකු පෙට්ටියක්  සාළේ මද්දේ ඒකේ ඇතුළේ කිරිකෝපිලූ
බුරුත පෙට්ටිය සාළේ අයිනේ වටේ පිරිලා මල් අතූ
කාමරේ තුල කසුකුසුව වී මා දුටුව නැති නෑ සියෝලූ
පුත්තු දෙන්නගේ යාලුවෝ ටික තවත් පැත්තක එක් වෙලාලූ

මියගොසින් මම දින දෙකක් ගොස් මගේ දේහය මැද්දේ සාලේ
ගම් හතක් ඈතටම අසුනලු ඒ තරම් දරුවන්ගේ ආලේ
වැඩිය හිමි නම කවුරු වේ යැයි අසයි මයේ හිත සෑම වේලේ
මගුල් ඇතෙකුගෙ බරට සම ලෙස පිරිකරත් පූජා කලේ


නුබේ වාහනේ නොගිය මට මොට මහා වාහන අද පුතේ
දළදා පෙරහර නොදුටු මට මොට අවමගුල් බෙර මයේ පුතේ
කොළොම්පුරයේ ඇවිද නැති මට කොළබ හිමිවරු මොට පුතේ
තේ කහට ටික නැතිව සිටි මට මහා මගුලක් මොට පුතේ....



0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved