Must Read

Sunday, April 10, 2016

පත්තිනි උපත




පරණ පත්තර කෑල්ලක් කියවද්දී පත්තිනි දේවිය ගැන විස්තරක් හමු වුනා. ඇත්තටම ගොඩක් ලොකු කතාවක් තමයි තියෙන්නේ. ගොඩක් තැන් වල සඳහන් වෙන්නේ අඹෙන් උපන් තැන වෙනකම් විතරයි.

දෙමල පුරාවෘත්ත වලට අනුව පඬි රට මදුරාපුර නෙත් තුනක් ඇති වීර පාන්ඩිය නම් රජෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේක ත්‍රීනේත්‍ර ධාරි ඉසුරුගේ බිරිය වුනු උමාගේ ඉරිසියාවට මෙන්ම කනස්සල්ලටත් ලක් වුනා. ඉතින් ඇය ඉසුරු ගෙන් ඉල්ලලා හිටියා මේ තෙවැනි ඇස විනාශ කරලා දාන්න කියලා. මේ යෝජනාවට එකඟ වෙච්ච ඉසුරු පරරාස මුනිවරයාගේ දියණියව මෙම කාර්යයට යොදා ගන්න තීරණය කළා.

ඉතින් මේ පාන්ඩිය රජුගේ උයනේ අකලට පල ගත අඹයකින් අසාමාන්‍ය සුවඳක් මුළු ප්‍රදේශය පුරාම පැතිරෙන්න පටන් ගත්තා. ඉතින් ඒ අඹය රජු වෙත ගෙන එන්න අණ කලත් කඩන්න යන හැම වෙලාවකම අඹය නොපෙනී යන්න ගත්තා. මේ සිදුවීම දැනගත් රජතුමා උයනට පැමිණි විට ඒ සමඟම ආගන්තුක තපසෙකුත් උයනට ඇවිත් තියෙනවා. එවිට යලි දර්ශනය වෙන්න ගත්ත අඹයට ආගන්තුක තවුසා ඊතලයකින් විද්දත් එය බිම පතිත නොවී ගුවනේ රැඳී තිබුනා. ඉන්පසු මේ තවුසා රජතුමාට පැවසුවා අඹය තම දෑතට ගන්න කියලා. අත් දෙක එහෙම පිරිසිදු කර ගත්ත රජ තුමා අඹය දෙසට දෑත දිගු කලහම මහත් පීඩනයක් සහ වේදනාවක් ඇති කරමින් එය දෑතට පතිත වුණා. අඹය අතහැර දැමු රජතුමා එම දෑතින්ම තම නළල පිස දානවත් එක්කම පාන්ඩිය රජුගේ තෙවෙනි ඇස අතුරුදහන්ව ගියා.

ඊට දවස් තුනකට පස්සේ මේ අරුම පුදුම අඹයෙන් රන්වන් කුමාරියක් බිහි වුණා. ඒ තමයි පරරාස මුනිවරයාගේ දියණිය.ඉතින් බමුණෝ කිව්වේ රජතුමාට කරදරයක් කරගෙනම ඉපදුනු කුමරියගෙන් රජ වාසලටත් කරදරම පැමිණෙයි කියලයි. ඔවුන් මේ කුමරියව පැසක තියලා මුහුදේ පා කරලා අරිනවා.

ඉතින් මේ පැස කාවේරිපුම්පට්ටි නම් වෙරළට පා වෙලා එනවා. එහෙම ආවහම මානායක සහ මාසාත්තුව නම් වෙළඳ මිතුරන් එය දකිනවා. මුලින්ම දැක්කේ මානායක නිසා මුලින් එය ඔහුට අවශ්‍ය බව පැවසුවත් පසුව ඔවුන් දෙදෙනා එය ඇතුලත ඇති දේ සම සේ බෙදා ගන්න එකඟ වෙනවා. ඉතින් මේ පැස ඇරලා බැලුවට පස්සේ මාසාත්තුවට හදා ගන්න පුතෙකු සිටිය බැවින් කුමරියව හදා ගන්න ගන්නේ මානායක විසින්. ඒ වගේම ඔවුන් දෙදෙනා ළමුන් දෙදෙනා වැඩි වියට පත් වූ විට විවාහ කර දීමටද ගිවිස ගන්නවා. ඒ වගේම පිරිමි ළමයාගේ නම වුනේ කෝවලන්. කුමරිය කන්නගී ලෙස නම් තැබුවා. ඉතින් ඔවුන් දෙදෙනා නිසි වයසට පත් වුනහම විවාහ වෙනවා.

මේ අතර දේව සභාවේ උර්වසී විසින් දෙවි වරුන් වෙනුවෙන් රංගනයක් පවත්වනවා. නාරද මුනි තුමා විනා වාදනා කරනවා. ඉතින් තමාගේ රංගනය රස විඳමින් සිටිය ඉන්ද්‍රගේ පුතාට ඇය වශී වෙනවා. ඉතින් ඒ නිසාම නැටුමත් වරදිනවා. ඉතින් මේ උර්වසී ඉන්ද්‍රගේ උදහසට ලක් වෙනවා. මෙයින් කෝපයට පත් නාරද මුනි තුමා ඇයගේ නොසැලකිල්ලට දඩුවම් වශයෙන් මිනිස් ලොව චිත්‍රාපතියට දුවක වී ඉපදෙන්නට ඇයට ශාප කරනවා. එම ශාපයෙන් මනුලොව උපන් ඇයගේ නම වෙන්නේ මාදේවි යන්නයි. ප්‍රෙහෙලිකා විසඳීම, මල්දම් ගෙතීම, නැටීම, ගැයීම ආදී ලලිත කළා වලට ඇය අගතැන්පත් චරිතයක් වුණා. ඉතින් අසාමාන්‍ය රූප සොභාවයකුත් තිබුන ඇය මාදේවි චෝල රජතුමාගේ නාට්‍ය මණ්ඩපයට ඇවිල්ලා ගී ගැයීමෙන් වගේම රංගනයෙනුත් රජතුමාව වගේම ධනවතුන්ව සතුටට පත් කරවනවා.

ඉතින් කන්නගී ගේ ස්වාමි පුරුෂයා වෙච්ච කෝවලනුත් මාදේවි ගේ නැටුම් ගැයුම් බලන්න යන්න පුරුදු වෙලා හිටියා. බලන්න ගියා විතරක් නෙවෙයි ඇයට වසඟ වුනු ඔහු කන්නගී වත් දාලා ඇයත් සමඟ වාසයට යනවා.ඉතින් ඔවුන් දෙදෙනා සතුව තිබු සියලු වස්තුව මාදේවිය වෙත ඇදිලා යනවා. බලාගෙන ඉන්නැද්දිම මහා ධනවත් වෙළෙඳ පවුල් දෙකක ධනය අන්තිම වෙනකම් හිඳිලා ගිහින් අන්තිමට ඉතුරු වුනේ කන්නගිගේ සළඹ දෙක විතරයි. ඉතින් ඊට පස්සෙ මොකක් හරි හේතුවක් නිසා මාදේවි වයි මාදේවීට දාව තමාට ඉපදුනු දරුවා වෙච්ච මනිමේඛලා වයි දාලා කෝවලන් නැවතත් කන්නගී වෙත පැමිණෙනවා. කන්නගිත් තම සැමියාව ආදරෙන් පිලි ගන්නවා. ඉතින් ඔවුන් පත්ව ඇති දුගී බව නිසාම තමාගේ එක් සළඹක් විකිනීමට දෙදෙනාම මදුරාපුරයට යනවා.

ඉතින් ඔවුන් එහෙට පැමිණෙන්නේ රජතුමාගේ බිරිඳගේ පා සළඹක් හොරකම් කරපු කාලයකයි. ඉතින් පෙදෙසෙට අමුත්තෙක් වෙච්ච කෝවලන් ව මේ සිදු වීමට වරදකරු කරනවා. රජතුමාත් හොයන්නේ බලන්නේ නැතුවම කෝවලන්ට මරණ දඩුවම නිකුත් කරනවා. ඉතින් කෝවලන් ගේ නිවැරදි බව වධකයන් දැනගෙන හිටිය නිසා සතෙකු මරා ලේ රජතුමාට පෙන්වීමට කෝවලන්ට යෝජනා කලත් සත්ත්ව හිංසාවට අකමැති වෙච්ච ඔහු එයට විරුද්ධ වෙලා වධකයන් අතින් මරණයට පත් වුනා. ඉතින් තම ස්වාමියා මිය ගිය බව දැනගත් කන්නගී සතුන්, ස්වාමි භක්තිය ඇති කාන්තාවන්, මහලුන්, දරුවන් හැර අනිත් එහි අන් සියලු දේ දැවී යන්නට තම වම් පියයුර කඩා පොළවේ ගසා ශාප කරනවා. ඊට පස්සෙ ඇය සත්‍යක්‍රියා කරලා නැවතත් සැමියාට පණ අරන් දෙනවා. පණ ලැබුණු සැමියා කෙලින්ම දිව්‍ය ලෝකෙට යනවා. ඉතින් සැමියා ආපු නැති නිසා ඔහුව හොයාගෙන ගිය කන්නගී ට මගදී ගඟක් හම්බ වෙනවා. ඒත් තොටියා ඇයව ගඟෙන් එකඟ කරන්න කැමති වෙන්නේ නෑ. ඉතින් තම පතිවත සිහි කරපු කන්නගී තමන්ගේ පේරැස් මුද්ද ගලවලා ගඟට දානවා. එතකොට ගඟේ දිය දෙබෑ වෙලා කන්නගියට එතෙර වෙන්න මාර්ගය පෑදෙනවා. ඉතින් ඊට පස්සෙ නගරය ආරක්ෂා කරන දෙවි දුවක් ඇවිත් ගින්න නවත්වන ලෙස කන්නගිගෙන් ඉල්ලා සිටිනවා. වම් පියයුර කඩා ගැසීමෙන් ගින්න හට ගත් නිසා දකුණු පියයුර කඩලා විසි කරලා ඇය ගින්න නිවලා දානවා. පියයුරු කඩා දැමීම නිසා තුවාල වුනු ඇය නගරයෙන් පිට කඳු වැටියකට ගිහින් දින 14 කට පස්සෙ ලේ ගිහින් මිය යනවා. ඊට පස්සේ තමා ගේ පතිවෘතිය නිසාම පත්තිනි නමින් දෙවි වෙනවා.

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved